TheIndependent - හලාල් සහතික නිකුත් කිරීමට අදාළව හා සමස්ත ලංකා ජෙම්මීයතුල් උලමා සංවිධානය පිළිබඳ විපක්ෂ නායකවරයා ඊයේ (06) කළ ප්‍රකාශයට රජය සිය කනගාටුව ප්‍රකාශ කරන බව සභානායක, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
සිංහල, මුස්ලිම් ගැටුම්කාරී තත්ත්වයක් වර්ධනය වීමට පවත්නා ඉඩකඩ අහුරමින් කටයුතු කළ යුතු බවත්, 1915 දී සිදුවූවාක් මෙන් අවාසනාවන්ත සිදුවීමක් යළි සිදුවීම ඉඩ නොදීම රජයේ වගකීමක් බවත් ඊයේ දිනයේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේය.

මුස්ලිම් ප්‍රජාවට යම් යම් හිරිහැර අකටයුතුකම් සිදුවන්නා සේම නැගෙනහිර පළාතේ සිංහල බෞද්ධ ජනයාට ද හිරිහැර සිදුවී ඇති බවට වාර්තා වන බවත්, හලාල් සහතික ලබාගැනීම සඳහා සිංහල ව්‍යාපාරිකයින්ට බලපෑම් ඇත්ද යන්න රජය විසින් සොයා බැලිය යුතුව ඇති බවත් වික්‍රමසිංහ මහතා පවසා සිටියේය.
තමා විසින් ජෙම්මීයතුල් උලමා පනත පිළිබඳ සොයා බැලූ බවත් එහි කිසිදු තැනක හලාල් සහතික නිකුත් කිරීමක් ගැන සඳහන්ව නැති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළ අතර ඊට අද (07) දිනයේ පිළිතුරු ලබාදෙන බව නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ දිනයේ පාර්ලිමේන්තුවට දැනුම්දී සිටියේය.
ඒ අනුව ඊට පිළිතුරු දෙමින් අද (07) පාර්ලිමේන්තුවේදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේ මෙවැනි සිදුවීම් ඇතිවූ විට රජය ක්‍රියා කරනු ලැබුවේ ගිනි තැබීමට නොව සාමය හා සංහිඳියාව ඇති කිරීමට බවයි.
එහිදී අමාත්‍යවරයා කල සම්පුර්ණ කතාව මෙසේය.
එතුමාගේ ප්‍රකාශයේ පළවන ඡේදයේ මුස්ලිම් ආගමික ස්ථාන 10කට මෑතදී පහර දීම් කර ඇති බවට කර ඇති ප්‍රකාශය රජය තරයේ ප්‍රතික්ෂේප කරයි. දිවයිනේ ස්ථාන කීපයක සිදු වී ඇති යම් විරෝධතාවන් පෑමේ සිද්ධීන් කීපයක් මුල් කොට විකෘති කොට මුස්ලිම් ආගමික ස්ථානයන්ට පහරදීම් කර ඇති බව ප්‍රකාශ කිරීම කරුණු විකෘති කොට දැක්වීමකි. එසේ පහර දී ඇත්තේ කුමන ස්ථානයේ පිහිටි මුස්ලිම් දේවස්ථානවලටද, පහර දුන්නේ යැයි කියන එම වකවානු මොනවාද ? යන්න මෙම ගරු සභාවට ඉදිරිපත් කරන ලෙස මම විපක්ෂ නායකතුමන්ට අභියෝග කරමි.
මේ පිළිබදව පොලිස්පතිතුමාගෙන් ලබා ගන්නා ලද වාර්තාව අනුව කිසිම ආගමික ස්ථානවලට පහර දීම හෝ වෙනත් ආගමික කණ්ඩායම්වලට පහර දීම වාර්තා වී නොමැති බව පැහැදිලිව පෙන්වා දී ඇත.
පොලිස්පතිතුමාගේ වාර්තාව අනුව වඳුරඹ, නවගමුව, අලුත්ගම, බදුල්ල, පයාගල, කුරුණෑගල යන නගරවල හලාල් ආහාර වර්ජනය කිරීමේ තේමාව හා වෙනත් කරුණු මුල් කොට ගෙන සුළු සිද්ධීන් කිහිපයක් වාර්තා වී ඇති අතර, එකී සිද්ධීන් පිළිබඳව පොලිසිය වහාම ක්‍රියාත්මක වී මෙකී සිද්ධීන්ට වගකිවයුතු පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයේ නඩු පැවරීමත් සිද්ධීන් කීපයකදී පාර්ශවකරුවන් කැඳවා පොලීසිය විසින් අදාළ සිදධිය පිළිබඳව වාර්තා කර සමතයටකට පත් කිරීමත් සිදු කර ඇත. මෙවැනි සිද්ධීන් ඇති වූ විට ඉතා ඉවසිල්ලෙන් හා දූරදර්ශීව කටයුතු කොට ඒවා පැතිරී යාම වැළැක්වීමේ අදහසින් කටයුතු කළ යුතු අතර, එක්වරම දැඩි ක්‍රියාමාර්ග ගැනීම තුළින් ප්‍රතිවිරුද්ධ කොටස් අතර තවදුරටත් ගැටුම් නිර්මාණය වීමට ඉඩ ඇති බවද අවධාරණය කරනු කැමැත්තෙමි. පොලිසිය විසින් පහත සඳහන් නීතිමය ක්‍රියාමාර්ගයන් දැනටමත් ගෙන ඇති බව මෙම ගරු සභාවට වාර්තා කරනු කැමැත්තෙමි.
දිනය ස්ථානය | සිදුවීම | ගත් පියවර |
2012.06.24 වදුරඹ | බොදුබල සේනා සංවිධානයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් ශ්‍රී සුමේධ අසපුව අසල ධර්ම ප්රචාරක ආයතනයට අයුතු ඇතුළුවීම, අනර්ථය කිරීම සම්බන්ධව පැමිණිල්ල | අරුණ හරේන්ද්‍ර යන අයව අත්අඩංගුවට ගෙන බද්දේගම ම/උ නඩු අංක 64107 යටතේ අධිකරණයට ඉදිරිපත් කර ඇත. නඩුව 2013.05.20 දිනට කල් තබා ඇත. |
2012.06.24 වදුරඹ | බුදුදහමට නිගාවන පරිදි ධර්ම දේශනා කළ ස්ථානයකට බොදු බල සේනා සංවිධානය විසින් පහරදීමක් පිළිබඳව පැමිණිල්ල. | ලක්ෂාන් දිලීප, සුදේශ් ප්රියමාන්, තිළිණ රුවන්, චමිත් ලක්ෂාන්, තුසිත කුමාර යන අය අත්අඩංගුවට ගෙන බද්දේගම ම/උ නඩු අංක 67108 යටතේ අධිකරණයට ඉදිරිපත් කර ඇත. නීතිපති උපදෙස් සදහා උදෘත නීතිපති තුමා වෙත යොමු කර ඇත. නඩුව විභාග වෙමින් පවතී. |
2012.07.02 වදුරඹ | බොදුබල සේනා සංවිධානයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් පුද්ගලයෙකුට පහර දී තුවාල සිදු කිරීම. | බද්දේගම ම/උ නඩු අංක 64/253 යටතේ අධිකරණයට කරුණු වාර්තා කර ඇත. |
2012.12.10 නවගමුව | ශ්‍රී හිඟුල යෝගාශ්‍රමය, කඩුවෙල ස්ථානයට බොදු බල සේනා සංවිධානය පැමිණ කරදර කිරීමක් සම්බන්ධව පැමිණිල්ල. | ස්ථානාධිපති නවගමුව විසින් දෙපාර්ශවය ස්ථානයට කැඳවා විභාග කර සමථයට පත් කර ඇත. |
බෞද්ධ සංවිධාන සම්බන්ධව 2013 වර්ෂයේ ජනවාරි මස වාර්තා වී ඇති සිදුවීම් සහ ගෙන ඇති ක්‍රියාමාර්ග.
දිනය ස්ථානය | සිදුවීම | ගත් පියවර |
2013.01.21 අළුත්ගම | මොරගල්ල සිනමන් බේ හෝටලයේදී බුදු සසුනට අපහාස කිරීම සම්බන්ධව බොදුබල සේනා සංවිධානයේ පැමිණිල්ල | දොන් සමන්ත කුමාර හා සේනුඩීන් මොහොමඩ් පලීල්දීන් යන අය අත්අඩංගුවට ගෙන බී. ආර්. 7798/13 යටතේ ගරු අධිකරණයට ඉදිරිපත් කර ඇත. වැඩි දුරටත් විභාග වෙමින් පවතී. |
2013.01.20 බදුල්ල | මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකු විසින් බුදුන්වහන්සේගේ සිරස මුද්‍රණය කර ඇති අත්මේස් සන්තකයේ තබා ගැනීම පිළිබදව පැමිණිල්ල | මොහොමඩ් නලීර්, අර්ලුන් අසීස් යන සැකකරුවන් අත්අඩංගුවට ගෙන, බදුල්ල ම/උ නඩු අංක 59099 යටතේ අධිකරණයට ඉදිරිපත් කර, ශරීර ඇප මත මුදාහැර ඇත. නඩුව 2013.03.20 දිනට කල්තබා ඇත. |
2013.01.26 පයාගල | බෞද්ධ ආගමට අපහාස වන අයුරින් බොස්කෝ ළමා නිවාසයේ ඌරු ගොවිපළ අසල අවුකන බුද්ධ රූපයක් ප්‍රදර්ශනය කිරීම පිළිබදව පැමිණිල්ල | රෝලන් රාජු යන සැකකරුවන් සහ දේපළ අත්අඩංගුවට ගෙන කළුතර ම/උ බී.ආර්. 7806/13 යටතේ අධිකරණයට ඉදිරිපත් කර ඇත. විභාග වෙමින් පවතී. |
ගරු විපක්ෂ නායක විසින් ඊයේ දිනයේදී සභාගත කරන ලද ලිපියේ සඳහන් 2013.01.24 දින කරුණු පිළිබඳව කුලියාපිටියේ සිදු වූ සිද්ධිය පිළිබඳව පොලීසිය වාර්තා කර ඇත්තේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් එදින සිදු වූ බවත් මෙකී උද්ඝෝෂණ සංවිධානය කළ භික්ෂූන් වහන්සේලා හා අනෙකුත් ක්‍රියාකාරීන් පොලීසියට කැඳවා ඔවුන්ට දැඩි ලෙස අවවාද කළ බවත් මින් ඉදිරියට ජාතිවාදය ඇවිස්සෙන උද්වේගකාරී අයුරින් කටයුතු නොකරන බවට ඔවුන් ක්‍රියා නොකරන බවට පොරොන්දු වූ බවත්ය. මෙවැනි සිද්ධීන් ඉදිරියේදී සිදුවීම වැළැක්වීම සදහා මෙය සංවිධානය කිරිමේ කටයුතු කළ ගිහි පැවිදි පුද්ගලයන් පිළිබදව බුද්ධි තොරතුරු සම්බන්ධ පසුබිම් වාර්තාවක් ලබා ගැනීමට වයඹ පළාතේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනට කටයුතු කරගෙන යනු ලැබේ. මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණ අවසානයේදී උධෘත ගරු නීතිපති තුමා වෙත යොමු කිරීමෙන් අනතුරුව ඉදිරි පියවර ගන්නා බව පොලිස්පතිවරයා වාර්තා කොට ඇත. එම ලිපියේ සඳහන් කුරුණෑගල හා හිරියාල මැතිවරණ කොට්ඨාසයන්හි සිදු වී ඇතැයි කියනු ලබන සිද්ධීන් 2012 වසරේදී සිදු වූ සිද්ධීන් දෙකක් විකෘති කොට හුවා දැක්වීමකි. ආරියසිංහල වත්තේ පිහිටි මුස්ලිම් දේවස්ථානයක් නොවූ බවත්, පන්සල ඉදිරිපිට නිවසක් දේවස්ථානයක් බවට පරිවර්ථනය කිරිමට ගන්නා ලද උත්සාහයකට එරෙහිව ප්‍රදේශවාසීන් උද්ඝෝෂණය කර ඇති බවත් ප්‍රෙද්ශයේ දේශපාලන නායකත්වයද විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේද මැදිහත්වීමෙන් මෙම තත්ත්වය සමනය කොට එම නිවස මුස්ලිම් දේවස්ථානයක් ලෙස කටයුතු කිරීම අත්හැරිය බවත් වාර්තා වී තිබේ.
මීට අමතරව අතිගරු ජනාධිපතිතුමන් විසින් පොලිස්පතිවරයාට දෙන ලද උපදෙස් අනුව මෙවැනි සිද්ධීන් ඉදිරියේදී සිදුවීම වැලැක්වීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව මගින් පහත සඳහන් පියවර ගෙන තිබේ.
1. දිවයින පුරා සර්ව ආගමික කමිටු , පළාත් 09 ම ආවරණය වන ආකාරයෙන් බෞද්ධ , හින්දු , මුස්ලිම්, කතෝලික, ආගමික ප්‍රධානීන්ගේ මූලිකත්වයෙන් පිහිටුවා ඇත. මෙමගින් දිවයින පුරා ප්‍රාදේශීය මට්ටමින් ආගමික සහජීවනය පිළිබදව මහජනතාව දැනුවත් කිරීමේ කටයුතු පොලිස් දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් ඉටු කරනු ලබයි.
2. දිවයිනේ පොලිස් කොට්ඨාස 43ක්, ආවරණය වන පරිදි එක් පොලිස් දිස්ත්‍රික්කයකට අවම වශයෙන් එක් කමිටුවක් වන පරිදි සර්ව ආගමික කමිටු 104ක් දිවයින පුරා පිහිටුවා ඇත.
3. පොලිස් ස්ථාන මට්ටමින් ඉටු කරනු ලබන මහජන සම්බන්ධතා කටයුතුවලදී සියලු ආගමික නියෝජනය වන අයුරින් කටයුතු කිරිමත්, එමගින් මහජනයා වෙත ආගම් අතර සහජීවනයෙන් කටයුතු කිරීම පිළිබදව පණිවුඩය ලබාදීම සිදු කරනු ලබයි.
4. ප්‍රසිද්ධ ආගමික උත්සවවලදී එකී සෑම ආගමක් සඳහාම එකම ආකාරයෙන් ප්රමුඛත්වයෙහිලා ගරු කරමින්, එකී ආගමික උත්සව කටයුතු දෙපාර්තමේන්තු මට්ටමින් දීප ව්‍යාප්තව සංවිධානය කිරීමත්, එකී විවිධ ආගම්වල විවිධ උත්සව අවස්ථාවන් සදහා සහභාගීත්වය, දායකත්වය එක ලෙස දැක්වීමෙන් ආගමික සහජීවනය මහජනතාව වෙත පිළිබිඹු කිරීම.
5. සෑම ආගමක්ම මුල්කර ගනිමින් පැන නැගෙන ගැටලු හා පැමිණිලි පිළිබදව ප්‍රමුඛත්වය ලබාදී ක්ෂණිකව ක්‍රියාකාරි වී ඉදිරියට පැන නැගීකමට ඉඩ ඇති සියලු ගැටලුකාරි තත්ත්වයන් පාලනය කර ගැනීමටත්, නිරාකරණය කිරිමට බුද්ධිමත්ව ක්‍රියා කරන ලෙසට සියළු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ප්රමුඛ සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ව දැනුවත් කර තිබීම.
6. ආගමික කරුණු මුල්කර ගනිමින් පැන නැගෙන උද්ඝෝෂණ , විරෝධතා රැස්වීම්වලදී බුද්ධිමත්ව කටයුතු කරමින්, කිසිදු ආගමකට විශේෂ පක්ෂග්‍රාහිත්වයක් නොමැතිව සියලු ආගම් එකසේ ප්රමුඛ බව සලකා කටයුතු කරන ලෙසට නිලධාරීන්ව දැනුවත් කර තිබීම.
7. පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් බොදු බල සේනා සංවිධානයේ සභාපති භික්ෂුන්වහන්සේ ඇතුළු ක්‍රියාකාරි සාමාජිකයින් පොලිස් මූලස්ථානයට 2012.11.12 වන දින කැඳවා දීප ව්‍යාප්තව සිදුවන බොදුබල සේනා සංවිධානයේ ක්‍රියාකාරකම් සහ එමගින් ඇතිවිය හැකි අනිසි ප්‍රතිවිපාක පිළිබදව පෙන්වා දී ඒ සම්බන්ධව සාකච්ඡා කර, සාමය පවත්වාගෙන යාම සහ ආගමික සහජීවනය පවත්වාගෙන යාම සඳහා සහය දෙන මෙන් ආයාචනා කරන ලදී.
මේ අනුව මෙම ප්රශ්නයේදී පොලීසිය ඉතාම සාධාරණව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කර ඇති බවත් ඔවුන්ගේ ස්ථානෝචිත ප්‍රවේශය නිසා කිසිම අන්තවාදී ක්‍රියාකරුවෙකුට ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කර ගැනීමට නොහැකි වූ බව ඉතා පැහැදිලිය.
No comments:
Post a Comment