Friday, May 10, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): විවිධත්වය තුළින් - එකමුතු බව අගය කළ බාකීර් මාකාර්

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
විවිධත්වය තුළින් - එකමුතු බව අගය කළ බාකීර් මාකාර්
May 10th 2013, 22:24




(හෙට දිනට යෙදෙන එතුමන්ගේ 96 වැනි ජන්ම දිනය නිමිත්තෙනි)

සිටියද ගල් ගෙයි වැදි
පණත් - නමත් යයි සිඳි
ඒ - පණ රට - දැයට දි
නම රැක ගනු නොවැරදි....

එම්. එල්. ද සිල්වා ගුරු මුහන්දිරම්තුමා විසින් රචිත "සිරිත් මල්දම" පද්‍ය සංග්‍රහයේ මෙලෙස විවරණය කරන අයුරෙන්ම සිය පණ දෙවෙනි කොට තම නම රැක ගැනීමට - තම නාමයට අගෞරව නොවන්නට සැමදා කටයුතු කළ දේශහිතෛෂී - දේශමාන්‍ය අල්හාඡ් - එම්. ඒ. බාකීර් මාකාර් ශ්‍රීමතාණන් ගැන මතකය අවදි කරන්නේ බැතියෙනි.

1990 වසරේ යම් දිනෙක බේරුවල මරදානේ ඉතා දැකුම්කළු පරිසරයක "සිල්ලි" නම් වූ ඉතා මනරම් දිය පොකුණක්‌ අසබඩ පිහිටි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කථානායක - දකුණු පළාතේ හිටපු ආණ්‌ඩුකාර බාකීර් මාකාර් මැතිතුමන්ගේ ඒ සොඳුරු නිවස්‌නයට මා ගියේ එතුමන් හමුවන්නට නම් නොවේ.

එදා මා එක්‌සත් ජාතික පක්‍ෂයේ ශිෂ්‍ය ව්‍යාපාරය වූ එක්‌සත් සමාජවාදී ශිෂ්‍ය පෙරමුණේ බේරුවල කලාපයේ සභාපති ලෙස එ.ජා.ප. බේරුවල බල මණ්‌ඩල රැස්‌වීමට සහභාගි වූයේ එවකට බේරුවල සංවිධායකවරයා වූ හිටපු අමාත්‍ය අධිනීතිඥ ඉමිතියාස්‌ බාකීර් මාකාර් මහතාගේ ඉල්ලීමක්‌ අනුවය. එතුමන් ජනතාව සමග කුළුපගය. ලෙන්ගතුය. චතුර කථිකත්වය - හෙළ බස හැසිරවීම තුළ ඔහු අති දක්‍ෂයෙකි. බොදු පාසල් අතර අද්විතීය වූ කොළඹ ආනන්දයෙන් බිහිවූ ආනන්දනීය පුත්‍රයෙකි. නිතර ධම්මපදය උපුටා දක්‌වන එතුමන් බොහෝ දැහැමිව දිවි ගෙවීය.

මා එහි යන විට ඉතා ප්‍රියමනාප සිනහවකින් මුව සරසාගත් බාකීර් මාකාර් මැතිතුමන් පැරැණි හිත මිතුරන් කිහිපදෙනකු සමග සුහද කතාබහක යෙදී සිටිනු දිටිමි. මිනිසුන්ගේ තරාතිරම නොබලා ලෙන්ගතුවීමටත් ඔවුන්ට ගෞරව කිරීමටත් එතුමන් දැක්‌වූ අපරිමිත දක්‍ෂතාවය නිසාම ඉමිතියාස්‌ නම් වූ තරුණ - නවක මන්ත්‍රීවරයාට මුළු කළුතර දිස්‌ත්‍රික්‌කයම රිසි සේ සංවිධානය කරන්නට හැකි වූ බව මා පසුව තේරුම් ගතිමි. මේ කෘතහස්‌ත මානව හිතවාදී - ජනතා නායකයාණන්ගේ ප්‍රඥවන්ත වැඩපිළිවෙළ නිසා එය වඩාත් පහසු වූ බව මට සිතේ.

කිසිදු බේදයකින් තොරව ඕනෑම අයකු ඇසුරු කරන්නටත් ඇවැසි කල පිහිට වන්නටත් හිටපු කථානායකතුමන් ඉදිරිපත් වූයේ ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් නම් නොවේ. කෘතවේදී ස්‌තුතිය පමණක්‌ මැදහත්ව ඉවසූ එතුමන් දුප්පත් - අසරණ මිනිසුන්ගේ නඩු - හබවලට නොමිලේ පෙනී සිටිමින් සමහර විටෙක ඔවුන්ගේ මඟ වියදම් ද, තම සාක්‌කුවෙන් දෙන්නේ යෑයි මාගේ පියා හද පිරි බැතියෙන් අප සමග පවසා ඇත්තේ වරක්‌ - දෙවරක්‌ නොවේ.

බේරුවල විවිධ ජාතීන් වෙසෙන මිශ්‍ර පරිසරයකි. මේ ජනතාවාදී උතුම් දේශපාලන චරිතය මිනිසුන්ගේ සිත දිනා ගැනීමට ඔවුන්ගේ සහයෝගය ලබාගැනීමට රුසියෙකි. බොහෝ දේශපාලනඥයන්ට වඩා එතුමන් ක්‍රියාශීලීය. එනමුත් විශ්මය ජනක කරුණ වන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කීර්තිමත් කථානායකවරයකු වූ එතුමා බොහෝ නිහඬ චරිතයකි. ඉතා විනයගරුකය. කතාබහ සෙමිනි. කාගේත් සිත නොරිදෙන කතාවකි. බොහෝ කල්පනාකාරීය. මිනිසුන්ගේ ඉරියව් ඉතා ඉක්‌මණින් ග්‍රහනය කරගැනීමට, වටහා ගැනීමට උපන් සමතෙකි.

එතුමන් ශ්‍රී ලාංකේය දේශපාලනයේ ඉතා නිරහංකාර, ඉතා ආදර්ශවත් එමෙන්ම ඉතා චරිතවත් පුද්ගලයන් කිහිපදෙනා අතරින් ප්‍රමුඛ අයෙකි.

මොනයම් හෝ දෙයකට දැඩි කෝපයෙන් පසුවන්නෙක්‌ සැනෙකින් මුදු මොළොක්‌ තත්ත්වයට පත් කිරීමට එතුමන්ට වැය වන්නේ හද තෙමන මුදු වචන කිහිපයකි.

මෙහිදී අතීත සිදුවීමක්‌ සිහිපත් කරනු කැමැත්තෙමි. බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අභිනව ගොඩනැඟිල්ල විවෘත කිරීමේ උත්සවයට මා ගියේ මාගේ පියා සමගිනි. එකල ඔහු බේරුවල නගරය ආශ්‍රිතව කටයුතු කළ ග්‍රාම නිලධාරිවරයෙකි. ආණ්‌ඩුවේ මැති ඇමැතින් සපිරි ඉතා උත්කර්ශවත් උළෙලකින් ගොඩනැඟිල්ල විවෘත කෙරෙන දිනට පෙරදින සුමධුර පිරිත් දෙසුමකි. මෙහි සංවිධායක කමිටුවේ සිටි මාගේ පියා බොහෝ වෙහෙසී කටයුතු කළ බව මට මතකය.

වේලාසනින්ම පැමිණි බාකීර් මාකාර් මහතා සෑම දෙයක්‌ම හොඳින් නිරීක්‍ෂණය කරනු දුටුවෙමි. සියල්ල නිවැරදිය. සියල්ල හොඳින් සිදුවේ. සංවිධායක කමිටුවේ බොහෝ දෙනා එතුමන් හඳුනන අයය. සියලු කටයුතු අකුරටම කෙරී ඇත. ඔහු සතුටෙන් ඉපිලෙයි. ඉතාම සුපිරිසිදුව අඳින පළඳින එතුමන්ගේ වැඩත් පිරිසිදුය. සිතත් පිරිසිදුය. ඒ එතුමන්ගේ හැටිය.

යුහුසුළුව වැඩවල යෙදෙන මා පියා ගැන එතුමන් වඩාත් පැහැදී ඇති සෙයකි. ළඟට කතාකොට යමක්‌ විමසනු මම දුටුවෙමි. අනේක වාරයක්‌ තුතිකොට දිරිමත් කළ බව පසුව දැනගතිමි. මා ද ඔහු අසලට ගියෙමි.

එතුමන්ගේ ප්‍රියමනාප මෙන්ම සෘජු රූපකාය හොඳින් දැනගත්තේ එදාය. මේ අපේ පාර්ලිමේන්තුව නම් වූ ප්‍රජාතන්ත්‍රවාදයේ රන් දෙවොලේ නායකයාය. අණ දෙන්නාය. මේ ගැන වැඩි වැටහීමක්‌ ඇති වූයේ පසු කලෙකය. ඒ වයසින් මුහුකුරා යන විටය.

අවාසනාවකට වත්මනෙහි මුස්‌ලිම් විරෝධයක්‌ ගැන තැනින් තැන කනින් කොනින් ඇසේ. එදා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උත්සවය සංවිධාන කළේ පිරිත් දේශනය, සංඝගත දක්‍ෂිණාව සංවිධාන කළේ දන් පිරිනැමුවේ, උත්සවයේ වගකීම්වලින් වැඩි කොටසක්‌ ඉටු වූයේ මුස්‌ලිම් තරුණයන් අතිනි. ප්‍රධාන සංවිධායක සහ අණ දෙන්නා මුස්‌aලිම් ජාතිකයෙකි. ඒ අපේ හිටපු කථානායකතුමාය. ජාති බේදයත්, ආගම් බේදයත්, සිංහල මුස්‌ලිම්ය යන හැඟීමක්‌ හෝ කිසිදු බේදයක්‌, ආරවුලක්‌ ගැන වගක්‌වත් නැත. පසුව හෝ දැන ගන්නේ ද නැත. සාමයෙන්, සමගියෙන්, සහයෝගයෙන්, සහජීවනයෙන් සියලු කටයුතු සිදුවේ.

මේ මානව හිතවාදී ජනනායකයා සියලු ජාතීන් අතර සමගියේ, සහජීවනයේ ප්‍රතිමූර්තියක්‌ බඳුය. එතුමන් ගන්නේ නිවැරදි මගය. සිය පණ දෙවැනි කොට "බාකීර් මාකාර්" නම් වූ ඒ ස්‌වර්ණමය නාමය, සිය කීර්ති නාමය රැකගැනීමට එතුමා ප්‍රතිපත්තිගරුක දේශපාලනයක නියෑළිනි. අප සෑම දෙනාටම ආදර්ශවත්, ඉතා නිරහංකාර, එමෙන්ම බොහෝ ඇසූ පිරූ තැන් ඇති රටට - දැයට වැඩදායී සුන්දර මිනිසකු ලෙස දිවි ගෙවීය.

මුස්‌ලිම් ජාතිකයකු ලෙස ඉස්‌ලාම් භක්‌තිකයකු ලෙස ඉපිද බොදු, කිතුනු, ඉස්‌ලාම් මේ සෑම ජනතාවම උතුම් ලෙස සලකමින් තම සේවය නොපිරිහෙලා ඉටු කළ මේ වන්දනීය දේශපාලන චරිතය සහජීවනය ගුරු කොට ක්‍රියා කළ බව නොරහසකි. විවිධත්වය තුළින් එකමුතු බව අගය කළ සාමයේ, සමගියේ, සහජීවනයේ 'බාකීර් මාකාර්' නාමය සදා සමරන්නේ හද පිරි බැතියෙනි.

ප්‍රසන්න දේශප්‍රිය

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

No comments:

Post a Comment